ජොහෝ ටයිගර්ස් සමග තරගාවලියට 45ක සංචිතයක්

මැලේසියානු ජොහෝ ටයිගර්ස් රග්බි කණ්ඩායමේ මෙරට තරග සංචාරය සඳහා ක්‍රීඩකයන් 65 දෙනෙකුගෙන් සමන්විත වූ මූලික සංචිතයක් පුහුණුවීම් අරඹා තිබූ අතර මේ වන විට එය 59 දක්වා අඩු කර ඇත. නුදුරේදී එය 45 දෙනෙකු දක්වා අඩු කරනු ඇති බව වාර්තා වේ. 

එම 45 දෙනාගේ සංචිතය ඉදිරියට ඇති ජාත්‍යන්තර රග්බි තරග සමය සඳහා සූදානම් වීම වෙනුවෙන් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී නේවාසික පුහුණු සැසියකට සහභාගී වීමට නියමිතය. අනතුරුව ඔවුන් මැලේසියාවේ ජොහෝ ටයිගර්ස් රග්බි කණ්ඩායම සමඟ තරග දෙකක තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතය. එහි පළමු තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමග වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 12 දින පැවැත්වේ. ඉන් අනතුරුව 15 වනදා එම ස්ථානයේදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා සභාපති XV ලෙසින් දෙවන හා අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

එම තරගාවලියෙන් පසු අප්‍රේල් 20 දින කොළඹට පැමිණීමට නියමිත නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු කණ්ඩායම සමග අප්‍රේල් 25 දින කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගණයේදී පළමු තරගයට සහභාගී වන අතර, මැයි 3 දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී අවසන් තරගය පැවැත්වේ.

2026 වසරේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් රග්බි කණ්ඩායම ආසියා රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව මැයි 24 දින කොළඹදී හොංකොං කණ්ඩායමට එරෙහිව තරග කරනු ඇති අතර ජූනි 5 දින ඩුබායිහිදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමගද, එමෙන්ම 13 වනදා දකුණු කොරියාව සමග එරටදී ද තරග වදිනු ඇත.

No comments

Powered by Blogger.