ලාංකීය සිනමාවේ ක්ෂේමභූමිය රන්මිණිතැන්න


කැළණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ, ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන 2024 වසරේ 20 වැනි කණ්ඩායමේ අධ්‍යයන චාරිකාව සඳහා මෙවර තෝරා ගැනුණේ, ශ්‍රී ලාංකේය සිනමා කලාවට මහඟු සම්පතක් බඳු වූ රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයයි.



පිහිටීම සහ ආරම්භය

තිස්සමහාරාම නගරයේ සිට කතරගම දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් හතක පමණ දුරක් ගමන් කරන විට මෙම රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානය හමුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, රුපියල් මිලියන 630ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයකින් අදියර තුනක් යටතේ ඉදිකළ මෙම උද්‍යානය, 2010 වසරේ මාර්තු 30 වැනි දින විවෘත කර ඇත.



මෙම ව්‍යාපෘතිය සඳහා මෙම විශේෂිත භූමිය තෝරා ගැනීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබේ. ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සියලුම භූගෝලීය ලක්ෂණ මෙම කලාපය තුළින් නියෝජනය වීමයි. දෙවැන්න, වසර පුරා පවතින අඩු වර්ෂාපතන තත්ත්වයයි. සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 235ක් වන අතර, ඊට අක්කර 50ක මනරම් වැවක් ද ඇතුළත් වේ. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා කිලෝ මීටර් 1.25ක පමණ භූමි භාගයක් වෙන් කර ඇත.

උද්‍යානයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයේම නළු නිළියන්ගේ නේවාසිකාගාර සහ රූගත කිරීම්වලට අවශ්‍ය බඩු භාහිරාදිය තබා ගැනීම සඳහා වූ ගබඩා සංකීර්ණයක් ද පිහිටා තිබේ.


ප්‍රධාන චිත්‍රාගාරය 

චිත්‍රාගාරය

උද්‍යානය තුළ අපට පළමුවෙන්ම හමුවන ප්‍රධානතම ස්ථානය වනුයේ 'Studio' හෙවත් චිත්‍රාගාරයයි. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම චිත්‍රාගාරය වන අතර විශාලත්වය වර්ග අඩි 8,300කි. දර්ශනවල පසුබිම පරිගණක තාක්ෂණය ඔස්සේ සකස් කර ගැනීම සඳහා භාවිත කරන විශාල ප්‍රමාණයේ 'Green Screen' තිරයක් මෙහි ස්ථාපිත කර ඇත.


 එමෙන්ම චිත්‍රාගාරය තුළ ආලෝකය අවශ්‍ය පරිදි සැකසීම සඳහා කේබල් ආධාරයෙන් මෙන්ම ස්වයංක්‍රීයව ද ස්ථානගත කළ හැකි නවීන විදුලි පහන් පද්ධතියක් පවතින අතර නළු නිළියන්ට සූදානම් වීම සඳහා ඉදිකළ රූපලාවන්‍යාගාර දෙකකින් ද මෙම චිත්‍රාගාරය සමන්විත වේ.




නගර පසුතල 

චිත්‍රාගාරය පසු කරමින් උද්‍යානය තුළට ගමන් කිරීමේදී වැව හමුවන අතර අනතුරුව හමුවන්නේ එළිමහන් දර්ශන සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී නගර පසුතලය. මෙම පසුතල තුළ නගර දෙකක් සහ ගම්මානයක් දැකගත හැකි වේ. නගරවල පවතින බොහොමයක් ගොඩනැගිලිවල ඉදිරිපස පමණක් නිමවා ඇති බැවින්, ගොඩනැගිලි ඇතුළත දර්ශන රූගත කිරීම සඳහා ප්‍රධාන චිත්‍රාගාරය භාවිත වේ. එහිදී රිජිෆෝම් සහ බෝඩ් වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් අවශ්‍ය පසුතල චිත්‍රාගාරය තුළ ගොඩනගනු ලැබේ.


නගරයේ ගොඩනැගිලි

පළමු නගර කොටස තුළ ගාල්ල, කොළඹ සහ නුවර වැනි ප්‍රධාන නගරවලට ආවේණික සුවිශේෂී ස්ථානවල ආකෘති ඉදිකර ඇත. ගාල්ල වෙළඳපළ, කොළඹ කාර්ගිල්ස් ගොඩනැගිල්ල සහ නුවර ක්වීන්ස් හෝටලය වැනි එම නගරවලටම අනන්‍ය වූ ස්ථාන මෙහිදී නිරූපණය කර තිබේ. මෙම නගර පසුතලවල සම්පූර්ණ ස්ථිර ගොඩනැගිලි ගණන 5ක් පමණක් වන අතර අනෙක් සියලු ඉදිකිරීම් තාවකාලික ඉදිකිරීම්ය. පොලිසිය, රෝහල සහ බැංකුව ආදී නගරයක සාමාන්‍ය ස්ථානවල ආකෘති ද මේ අතර වේ. තාවකාලික ඉදිකිරීම් සඳහා ෆ්‍ලයිවුඩ් සහ රිජිෆෝම් වැනි ද්‍රව්‍ය භාවිතා කර ඇත.



බොම්බේ

සමාජ ශාලාවෙහි වත්මන් ස්වභාවය

මීට අමතරව ඉන්දියාවේ බොම්බේ (වර්තමානයේ මුම්බායි) නගරයේ පසුතලයක් ද මෙහි විශේෂයෙන් ඉදිකර තිබීම කැපී පෙනුණි. මෙය 2015 වසරේ තිරගත වූ Bombay Velvet ඉන්දීය චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. බොම්බේ නගරයේ සමාජ ශාලාවෙහි (Bombay Club) ආකෘතියක් ද ඉදිකර ඇති අතර, චිත්‍රපටයේ රූගත කිරීම් විශාල ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මෙම සමාජ ශාලාව තුළදීය. චිත්‍රපටයේ කතාව දිවෙන 1960 දශකයට ඔබින ලෙස මෙම නගරය සහ සමාජ ශාලාව ඉදිකර ඇත.


චිත්‍රපටය තුළ සමාජ ශාලාව
ඇතුළු නගරය දිස් වූ අයුරු


මෙම නගර පසුතලය ඉදි කිරීම සඳහා මාස 8ක පමණ කාලයක් ගතව ඇති අතර චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා මාස 5ක පමණ කාලයක් ගත වී තිබේ. අනුෂ්කා ෂර්මා සහ රන්බීර් කපූර් සමඟ 200ක පමණ ඉන්දීය පිරිසක් එම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා රන්මිණිතැන්නට පැමිණ ඇත. කෙසේ වෙතත්, පසුතලවල දර්ශනය වන සහාය නළු නිළියන් සඳහා අවට ගම්මානවල පිරිස් යොදා ගෙන ඇත. එම චිත්‍රපටයේ දුම්රියක දර්ශනයක් සඳහා යොදාගත් තට්ටු දෙකක බස් රථයක ආකෘතියක් ද තවමත් සමාජ ශාලාව ආසන්නයෙන් දැකගත හැකි විය. 

      දුම්රිය සඳහා යොදාගත් බස් රථය                  සමාජ ශාලාව චිත්‍රපටය තුළ දර්ශනය වූ අයුරු සහ වර්තමාන ස්වභාවය

සමාජ ශාලාව සත්‍ය අමුද්‍රව්‍ය යොදා ගනිමින් විශාල වියදමක් සහ පරිශ්‍රමයක් දරා නිමවා ඇති නමුත් චිත්‍රපටයේ නිර්මාණකරුවන් නැවත සිය කාටයුතු නිමවා ඉන්දියාව බලා යාමේදී යොදාගත් සියලු ද්‍රව්‍ය එහි තබා යෑමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් වසර 10ක පමණ ගත වීමෙන් පසු අද එම බොහො දෑ දිරාපත් වෙමින් තිබේ.


ගම්මානය

ගම්මානයේ ගොඩනැගිලි

නගර පෙදෙස පසු කරමින් තවත් උද්‍යානය තුළට ගම්න් කිරීමේදී ගම්මානය හමුවේ. ගැමි නිවෙස්, කඩමණ්ඩියක් වැනි ගම්මානයක් සඳහා අවශ්‍ය මූලික ඉදිකිරීම් සමගින් ගමක ස්වභාවික පිහිටීම මෙහි නිර්මාණය කර ඇත. 






රන්මිණිතැන්නෙන් බිහිවූ නිර්මාණ

විජයබා කොල්ලය, කුසපබා, පත්තිනි, යශෝධරා, ගින්නෙන් උපන් සීතල, ක්ෂීර සාගරය කැළඹිණ, සුනාමි, කදිර දිව්‍ය රාජ, දේවි කුසුමාසන සහ ගෞතම බුද්ධ මාතා වැනි දේශීය නිර්මාණ මෙන්ම 'බොම්බේ වෙල්වට්' වැනි විදේශීය නිර්මාණ ද ඇතුළුව දෙස් විදෙස් චිත්‍රපට සහ ටෙලි නිර්මාණ රැසක් බිහිකිරීමට මෙම රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය දායක වී ඇත. 

සැබවින්ම නිර්මාණකරුවෙකුට අවශ්‍ය කරන ගම්, නගර, කැලෑ ආදී සියලු ආකාරයේ පරිසරයන් මෙන්ම, නළු නිළියන්ගේ නවාතැන් පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් ද එකම ස්ථානයකින් සපයා ගත හැකි වීම රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ ඇති සුවිශේෂීත්වයයි.


ඡායාරූප - Geshan Danansooriya Photography 



1 comment:

Powered by Blogger.