තායිලන්ත පාපන්දු පිල ලංකාවට - ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමට තවමත් අවස්ථාව

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් වටයේ තීරණාත්මක තරගය ක්‍රීඩා කිරීම සඳහා තායිලන්ත ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (15) දිවයිනට පැමිණියේය. තරගය එළඹෙන අඟහරුවාදා (18) කොළඹ තුරඟතරග පිටියේදී පැවැත්වීමට සූදානම් කර ඇත.

කණ්ඩායම් දෙක මේ වසරේ මාර්තු මාසයේ, බැංකොක්හි රාජමංගලා ක්‍රීඩාංගණයේදී පැවති පළමු වටයේ තරගයේදී මුණගැසුණු අතර එහිදී තායිලන්තය ගෝල 1-0ක ජයග්‍රහණයක් වාර්තා කළේය. කෙසේ වෙතත් ආන්දෝලනාත්මක ගෝලයක් වූ එම ගෝලය නොවන්නට තරගය සමව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් පැවතිණි. ඒ අනුව අඟහරුවාදා පැවැත්වෙන තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා පිලෙන් තියුණු තරගයක් බලාපොරොත්තු විය හැක.

ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අවස්ථා 7කදී පමණ මුණගැසී ඇති අතර තායිලන්තය මේ දක්වා සියලුම තරග ජයගෙන ඇත.

මේ වන විට පැවැත්වෙන ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග හතරකට ක්‍රීඩා කර තරග දෙකක් ජයගෙන දෙකක් පරාජයට පත්ව ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 196 වැනි ස්ථානයේ පසුවන සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු හයක් ලබා ගනිමින් 'D' කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ. තායිලන්තය තරග 3ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 9ක් සමග දෙවන ස්ථානයේ පසුවේ. ප්‍රසාද ලකුණු නවයක් ලබා ඇති තුර්ක්මෙනිස්තානය කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. තුර්ක්මෙනිස්තානයට සමාන ප්‍රසාද ලකුණු හිමි තායිලන්තය, අඟහරුවාදා ශ්‍රී ලංකාවට එරෙහිව ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පත්වීමට අවස්ථාව හිමිවේ. 


ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව

ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්තය සහ චීන තායිපේ පරාජය කිරීමෙන් ප්‍රසාද ලකුණු තුන බැගින් ලබා ගනිමින් මුළු ලකුණු 12ක් ලබා ගැනීම. අනතුරුව තුර්ක්මෙනිස්තානය සහ තායිලන්තය අතර ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් වීමටත්, තුර්ක්මෙනිස්තානය සහ චීන තායිපේ අතර තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වීමට හෝ තායිපේ ජයග්‍රහණය කිරීමටත් බලාපොරොත්තු විය යුතුය. එවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින් කාණ්ඩයේ පෙරමුණ ගෙන සුදුසුකම් ලැබිය හැකිය. 



No comments

Powered by Blogger.