වෙල්ලා සහ සහන්ගේ දස්කම් සමග ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව වටයට

 

කටාර් රාජ්‍යයේ දෝහාහි අද (19) පැවති Asia Cup Rising Stars 2025 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකදී බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව වටයට  සුදුසුකම් ලැබීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළේය.

ඉනිම ආරම්භ කළ විශේන් හැළඹගේගේ සහ නිශාන් මදුශ්ක වේගවත් ආරම්භයක් ලබාගත් නමුත් බංග්ලාදේශ පන්දු යවන්නන් ලකුණු 51ක්ට මුල්පෙළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. එහිදී සහන් ආරච්චිගේ සහ රමේෂ් මෙන්ඩිස් එක්ව යම් ස්ථාවරත්වයක් ගෙන ආ නමුත්, රමේෂ් දැවී යෑමෙන් පසු ලකුණු පුවරුව 95කට කඩුලු 5ක් ලෙසින් දිස් විය. එතැන් සිට නායක දුනිත් වෙල්ලාලගේ සමඟ එක් වූ ආරච්චිගේ ගොඩනැඟූ විශිෂ්ට සබඳතාවය ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙන ආවේය.

විශිෂ්ට ලෙස පිතිහරඹයේ නිරත වූ සහන් ආරච්චිගේ අර්ධ ශතකයක් වාර්තා කරමින් පන්දු 49කින් ලකුණු 69ක් රැස් කළේය. වෙල්ලාලගේ පන්දු 14කදී ලකුණු 23ක් රැස් කළ අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක සබඳතාව සමගින් අවසාන පන්දුවාර 5ට ලකුණු 59ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඒ කණ්ඩායමට අවසන් පන්දුව දක්වා පැවති තියුණු තරගයක් අවසන කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 153ක් පමණි. එහිදී දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තේය. මිලාන් රත්නායක, ට්‍රවීන් මැතිව් සහ ගරුක සංකේත් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. තරගයේ වීරයා සම්මානය වෙල්ලාලගේට හිමි විය.

එම ලකුණු 6ක තියුණු ජය සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි විය. ශ්‍රී ලංකාව සහ පකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය අනිද්දා (21) පැවැත්වේ.



No comments

Powered by Blogger.