ට්‍රැවිස් හෙඩ්ට Bazball වැහෙයි - දින දෙකෙන් තරගය නිමයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැති අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී නොසිතූ පෙරළි රැසක් සිදුවූ අතර ඕස්ට්‍රේලියාව කඩුලු 8 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේ දින දෙකක් වැනි කෙටි කාලයක් තුළදීය.

පර්ත් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ට්‍රැවිස් හෙඩ්ගේ ප්‍රහාරාත්මක ශතකය හේතුවෙන් පන්දුවාර 28.2ක් තුළ පහසුවෙන් ජය වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 172කට සියලු දෙනා දැවී ගිය අතර මිචෙල් ස්ටාක් කඩුලු 7ක් දවා ගත්තේ සුපිරි පන්දු යැවීමක් සමගිනි. ඊට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාවට ලබාගත හැකි වූයේ ලකුණු 132ක් පමණි.

දෙවැනි ඉනිම ආරම්භයේදී එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබා, ලකුණු 105කින් පෙරමුණ ගෙන සිටියේය. එහෙත් ස්කොට් බෝලන්ඩ් සහ මිචෙල් ස්ටාක් දියත් කළ වේගවත් පන්දු ප්‍රහාරය හමුවේ එංගලන්තය ලකුණු 99කට කඩුලු 9ක් අහිමි කරගෙන දෙවැනි ඉනිමේදී ලකුණු 164කට සීමා විය.

අනතුරුව ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 205 හඹා යෑම සඳහා ඔස්ට්‍රේලියානුවෝ පිටියට පිවිසියහ. කොන්දේ ආබාධයක් හේතුවෙන් උස්මාන් කවාජා වෙනුවට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ්, එංගලන්ත පන්දු යවන්නන් හට ඔවුන්ගේ 'Bazball' ක්‍රමයේම රස බැලීමට සලස්වමින්, හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 123ක් රැස් කර ඕස්ට්‍රේලියාවට තරගාවලියේ 1-0ක පෙරමුණක් ලබා දුන්නේය. ඔහු පන්දු 69කදී ශතකය සම්පූර්ණ කළේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තෙවන වේගවත්ම ටෙස්ට් ශතකයේ වාර්තාව සම කරමිනි.

දෙවන තරගය දෙසැම්බර් 4 වනදා බ්‍රිස්බේන්හිදී ඇරඹේ.



No comments

Powered by Blogger.