ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ ඉතිහාසයේ පළමුවරට තුර්ක්මෙනිස්තානය පරදති

ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (9) ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 197 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව, 138 වැනි ස්ථානයේ පසුවන තුර්ක්මෙනිස්තානය ගෝල 1-0කින් පරාජය කරමින්, ඔවුන්ට එරෙහිව මෙතෙක් ඉතිහාසයේ ලද පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. 

කොළඹ රීඩ් මාවත තුරඟ තරග පිටියේ පැවති 'D' කාණ්ඩයේ මෙම තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආක්‍රමණශීලි තරග රටාවක නිරත වූහ. ශ්‍රී ලංකාවට පළමු අර්ධය තුළ ගෝල වාර්තා කිරීමට හිමි වූ ආසන්න අවස්ථා කිහිපයක් මග හැරුණු අතර පළමු අර්ධය 0-0ක් ලෙස අවසන් විය.

දෙවැනි අර්ධයේ 67වැනි මිනිත්තුවේ සෑම් ඩුරන්ට් දක්ෂ ලෙස පිරිනැමූ පන්දුවෙන් ආධවන් රාජ්මොහාන් ගෝලයකට අවස්ථාව නිර්මාණය කළ අතර එහි ඵල නෙලාගත් ලියෝන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. 


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩක ජේසන් තයාපරන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණේය. ඔහු තුර්ක්මෙනිස්තානයේ නිසැක ගෝල අවස්ථා දෙකක් ඉතා දක්ෂ ලෙස හිසෙන් එල්ල කළ පහර මගින් වළක්වමින් ශ්‍රී ලංකාවට හිමි වූ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය බවට පත් විය. ඔහුගේ ශක්තිමත් ආරක්ෂක ක්‍රීඩා විලාශය තරගය පුරාවට කැපී පෙනුණි.

'D' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි තුර්ක්මෙනිස්තානය පරදා ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් සමග කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ තුර්ක්මෙනිස්තානය අතර දෙවන වටයේ තරගය එළඹෙන අඟහරුවාදා (ඔක්තෝබර් 14) තුර්ක්මෙනිස්තානයේදී පැවැත්වීමට නියමිතය. 


Comments

Post a Comment