ට්‍රම්ප්ගේ උපන්දිනය දා ධවල මන්දිරයේ UFC තරගාවලියක්
ඓතිහාසික වැදගත්කම
මෙම සුවිශේෂී ඉසව්ව 2026 ජූනි 14 වන දින ධවල මන්දිරයේ දකුණු තණතිල්ලේ (South Lawn) පැවැත්වීමට නියමිතය. මෙම දිනයට ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වන උපන්දිනය යෙදීම විශේෂත්වයකි. UFC හි ප්‍රධාන විධායක නිලධාරී ඩේනා වයිට් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය මෙම ඓතිහාසික ඉසව්ව යථාර්ථයක් බවට පත්කිරීමට ප්‍රධානතම හේතුව වී තිබේ. මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාවක් බවත්, තමන් එයට එකඟ වූ බවත් මාධ්‍යට අදහස් දක්වමින් ඩේනා සඳහන් කර ඇත.
සුපිරි තරු සහ කෝනර් මැක්ග්‍රෙගර්ගේ නැවත පැමිණීම
මෙම ඉසව්ව සඳහා නිල සටන් ලැයිස්තුවක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, UFC ඉතිහාසයේ දැවැන්තම සටන් මාලාවක් (fight card) මෙහිදී දැකගත හැකි වනු ඇතැයි ඩේනා වයිට් පවසා ඇත. ජෝන් ජෝන්ස්, ඇලෙක්ස් පෙරෙයිරා වැනි වත්මන් සුපිරි තරු රැසකගේ නම් මේ වනවිටත් කතාබහට ලක්වෙමින් පවතී.
නමුත්, ලොව පුරා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මෙම ඓතිහාසික රාත්‍රියේදී UFC හි විශිෂ්ටතම තරුව වන කෝනර් මැක්ග්‍රෙගර්ගේ දර්ශනීය නැවත පැමිණීම සිදුවේද යන්නයි. ඉකුත් සතියේ ඇමරිකාවේ ෆොක්ස් නිව්ස් වෙත අදහස් දැක්වූ කෝනර් තමන් තරගය සඳහා ගිවිසුම් අත්සන් කළ බව ප්‍රකාශ කළේය. මේ වන විට UFC හි තහනම් උත්තේජක පරීක්ෂණ මඟහැරීම හේතුවෙන් කෝනර් හට මස 18ක තරග තහනමක් පනවා ඇති නමුත් එය 2026 මාර්තු මාසයෙන් අවසන් වීම හේතුවෙන් ධවල මන්දිරයේ ඉසව්වට බාධාවක් නොවනු ඇත. සිය ආක්‍රමණශීලී සටන් විලාසය සහ හැසිරීම සමගින් පුවත් මවන්නකු වන කෝනර්, මෙම ඉසව්වට එක්වීම සමග එය UFC ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නා අවස්ථාවක් වනු නොඅනුමානය.
වාර්තා වන පරිදි මෙම ඉසව්ව සීමිත ආරාධිත පිරිසකට පමණක් සජීවීව නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වෙතත්, UFC සංවිධානය පැරමවුන්ට් (Paramount) සමාගම සමග ඇති කරගන්නා නව විකාශන ගිවිසුම යටතේ, ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ට මෙම ඉසව්ව සාම්ප්‍රදායික ගාස්තු ගෙවා නැරඹීමේ ක්‍රමයෙන් (pay-per-view) බැහැරව නොමිලයේ නැරඹීමට අවස්ථාව සැලසෙනු ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙම ඉසව්වෙන් අනතුරුව ධවල මන්දිරයේ තණකොළ අලුත්වැඩියා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 700,000ක් වැය කරන බව ඩේනා වයිට් සඳහන් කර තිබීම මෙහි විශේෂත්වය පිළිබිඹු කරයි.
මෙය හුදෙක් සටන් රාත්‍රියක් පමණක් නොව, ක්‍රීඩාවේ, දේශපාලනයේ සහ විනෝදාස්වාදයේ පෙරළිකාර සංකලනයකි. 2026 දී ධවල මන්දිරයේ සටන් පිටිය තුළ ඉතිහාසය ලියැවෙන තෙක් ලෝකයම බලා සිටී.
❤️
ReplyDelete