ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට ආසියාවේ සිව්වැනි ස්ථානය



චීනයේ Hangzhouහිදී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේදී, ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වැනි ස්ථානය දිනා ගත්තේය. එහිදී, තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී සත්කාරක චීන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව 22-17ක් ලෙස පරාජය විය.

තරගාවලියේ පිරිමි අංශය

චීනය සමග අද (21) සවස පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-5ක් ලෙස ඉදිරියෙන් පසු වීමට චීනය සමත් විය. නමුත් තරගයේ දෙවන අර්ධයේ නියමිත කාලය අවසන් වන විට උත්සාහක දිනුම් 2ක් හා ප්‍රවර්තනයක් රැස් කරමින් ලකුණු සම කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එහෙත් අතිරේක කාලයෙදී උත්සාහක දිනුමක් ‍රැස් කරමින් චීන ක්‍රීඩකයෝ ලකුණු 22-217ක් ලෙස තෙවන ස්තානය දිනා ගත්හ.

මූලික වටයේදී ශ්‍රී ලංකාව ජපානයට ලකුණු 38-7ක් ලෙස පරාජය වුවද, තායිලන්තය ලකුණු 24-7ක් සහ සිංගප්පූරුව ලකුණු 34-7ක් ලෙස පරාජය කරමින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. නමුත් ශ්‍රී ලංකාව ඊයේ උදෑසන පැවති අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 33-0කින් පරාජය විය.

අවසන් තරගයේදී ලකුණු 31-12ක් ලෙස ජපානය පරදා පිරිමි ශූරතාව හොංකොං කණ්ඩායම දිනා ගත්තේය. 


තරගාවලියේ කාන්තා අංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ තරග තුනම පරාජය වූ අතර 9වන ස්ථානයට පැවති තරගයේදී සිංගප්පූරුව ලකුණු 12-0කින් පරාජය කිරීමට ඔවුන් සමත් විය.

තරගාවලියේ කාන්තා ශූරතාව ලකුණු 26-19කින් චීනය පැ‍රදූ ජපානයට හිමි විය. 

මෙම තරගාවලියේ දෙවැනි සහ අදියර ඔක්තෝබර් 18 හා 19 ශ්‍රී ලංකාවේ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනු ඇත.

Comments