මිසිස් ස්ටාක් ඉන්දියාවට නෙලද්දී, ලංකාවේ වාර්තාව කුඩු


කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ විසාකාපට්නම් හිදී අද (12) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් කඩුලු 3ක වාර්තාගත සුපිරි ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකව හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 331ක් හඹා යමින් ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී ඔස්ට්‍රේලියානු නායිකා (මිචෙල් ස්ටාක්ගේ බිරිඳ) ඇලීසා හීලි ලකුණු 142ක් රැස් කළාය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් ආරම්භක පිතිකාරිණියන් වන ස්ම්‍රිති මන්දනා ලකුණු 80ක් සහ ප්‍රටිකා රාවල් ලකුණු 75ක් ‍රැස් කිරීම සමග ඔවුන් සියල්ල දැවී ලකුණු 330ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇනබෙල් සදර්ලන්ඩ් කඩුලු 5ක් දවා ගත්තාය. ඉන්දියාවේ අවසන් කඩුලු 6ක් ලකුණු 36කට දැවී යාම විශේෂත්වයකි.

පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායිකා ඇලීසා හීලි වේගවත් හා විශිෂ්ට ශතකයක් රැස් කළාය. ඇය පන්දු 107කින් ලකුණු 142ක් වාර්තා කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 21ක් සමගිනි. ඇලීසාගේ දැවී යාමෙන් පසු කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටීම හේතුවෙන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව සිටි එලීස් පෙරී නැවත පැමිණ නොදැවී ලකුණු 47ක් ලබා ගනිමින් ඉතාමත් තියුණු අවසානයක් සහිතව ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන ගියාය.

මෙහිදී ඔස්ට්‍රේලියාව බිඳ දැමූයේ 2024 වසරේ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදීම ලකුණු 302ක් සාර්ථකව හඹා යමින් පිහිටවා තිබූ කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකව හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවය.


Comments

Post a Comment