සත් සාමාජික රග්බි ශූරතාවට ශ්‍රී ලංකා සංචිත නම් කරයි

එමිරේට්ස් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා සංචිතයන් නම් කර තිබේ.

චීනයේ පැවති පළමු අදියර සඳහා ක්‍රීඩා නොකළ අත්දකීම් බහුල ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ඇතුළු හේෂාන් ජැන්සන් සහ දිලුක්ෂ දන්ගේ යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා සංචිතයට කැඳවා තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසියක් වනු ඇත.

චීනයේ පළමු අදියරට සහභාගී වූ ජනිත් මාරසිංහ, ශාහිඩ් සුම්රි, ආරොන් කොරෙයා, ජයතු රාජරත්න, නාලන් දේශප්‍රිය සහ විශෙන්ක සිල්වා සංචිතයෙන් ඉවත් කර ඇති අතර යෙහාන් බුලත්සිංහලගේ, චෙමෝද මුතුනායක සහ ක්‍රිස් දාබරේ යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර ඇත.
නායක කවිඳු පෙරේරා

තරගාවලිය මෙම සති අන්තයේ එනම් ඔක්තෝබර් මස 18 සහ 19 දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 12ක් සහ කාන්තා කණ්ඩායම් 12ක් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිරිමි සංචිතය:

කවිඳු පෙරේරා (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ගයාන් පෙරේරා, ජනිඳු දිල්ශාන්, දිනාල් ඒකනායක, හේෂාන් ජැන්සන්, දිලුක්ෂ දංගේ, ආකාෂ් මදුශංක, මොහොමඩ් රිෆාන්, සුරංග තෙන්නකෝන්, චතුර සොයිසා, යෙහාන් බුලත්සිංහල, කලණ චමුදිත, ක්‍රිස් දාබරේ, චමෝද් මුතුනායක.

පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රොඩ්නි ගිබ්ස් කටයුතු කරන අතර ශම්ලි නවාස් සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය:

රන්දිකා කුමුදුමලී (නායිකා) සංජු විජේතිලක, ජයන්ති කුමාරි, සංදිකා හේමකුමාරි, ශානිකා මදුමාලි, දිල්කි සත්සරණි, දිලිනි කාංචනා, චරනි ලියනගේ, සරනි නයනතාරා, කාංචනා මහේන්ද්‍රන්, ලියාරා ජයසිංහ, නිරායා ජයසිංහ, හෙකාශිනී ක්‍රිශ්නකුමාරි.

කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වය ද රොඩ්නි ගිබ්ස් සහ ශම්ලි නවාස් යටතේ ක්‍රියාත්මක වේ.


මූලික වටයේ තරග:

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම 'සී' කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන් මූලික වටයේදී චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව සමගින් තරග වීමට නියමිතය.

කාන්තා කණ්ඩායම 'එෆ්' කාණ්ඩයෙන් තරග කරන අතර, මූලික වටයේදී තායිලන්තය, හොංකොං සහ සිංගප්පූරුව සමගින් තරග කිරීමට නියමිතව ඇත.

Comments