ශ්‍රී ලංකා 16න් පහළ පාපන්දු පිලට චීනයේ තරග සංචාරයක්
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ මූලිකත්වයෙන්, චීනයේ ලීජියං නගරයේ පැවැත්වෙන ආරාධිත පාපන්දු තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 16 පහළ යොවුන් පාපන්දු කණ්ඩායමක් සහභාගී වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
තරග සංචාරය සැප්තැම්බර් 20 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි අරමුණ වන්නේ පාපන්දු සම්මේලනයට අනුබද්ධිත පාපන්දු ඇකඩමිවලට සහයෝගය දැක්වීම සහ දක්ෂ යොවුන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමයි.
ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා තේරීම් පරීක්ෂණ 2025 අගෝස්තු 20, 21 සහ 22 යන දිනවල කොළඹදී පැවැත්වේ. මෙම පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය යටතේ ලියාපදිංචි වී ඇති පාපන්දු ඇකඩමිවලින්, 2024/2025 පාපන්දු සම්මේලන හා ශ්‍රී ලංකා පාසල් පාපන්දු තරගාවලියට සහභාගී වූ පාසල් අතුරින් තෝරාගත් පළමු පෙළ පාසල් 20කින් සහ පාපන්දු තරග සඳහා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි වී ඇති ඉහළම ජාත්‍යන්තර පාසල් 20කින් ය.
ක්‍රීඩකයන්ගේ වයස අවුරුදු 16ට අඩු විය යුතු අතර, ඔවුන්ගේ උපන් දිනය 2009 ජනවාරි 1 සහ 2010 දෙසැම්බර් 31 අතර විය යුතුය. තේරීම් පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් පාසල් සහ ඇකඩමි වෙතට පාපන්දු සම්මේලනය විසින් ඒ බව දැනුම් දෙනු ඇත.

Post a Comment