බේබි ඒබී සුපිරි ඉනිමකින් වාර්තා අලුත් කරයි

 ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 53ක දැවැන්ත ජයක් ලබා ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට දකුණු අප්‍රිකාව අද (12) සමත් වුණා. එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ 22 හැවිරිදි 'බේබි ඒබී' හෙවත් ඩෙවාල්ඩ් බ්‍රෙවිස් නොදැවී ලකුණු 125ක් රැස් කළේ  දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක වැඩිම ලකුණු රැස් කළ වාර්තාව අලුත් කරමිනි.

තරගයේ වීරයා වූ ඩෙවල්ඩ් බ්‍රෙවිස් පන්දු 41කින් ශතකය වාර්තා කළේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයකදී වාර්තා වූ දෙවන වේගවත්ම ශතකය ලෙසිනි. ඔහුගේ නොදැවුණු ලකුණු 125ක ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් ඇතුළත් වූ අතර හතරේ සහ හයේ පහරවලින් පමණක් ඔහු ලකුණු 96ක් රැස් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 218ක් රැස් කළේය.

ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 165ක් පමණි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු 24කදී ටිම් ඩේවිඩ් අර්ධ ශතකයක් ලබා ගත් නමුත් එය ජයග්‍රහණයට ප්‍රමණවත් නොවුණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් යොවුන් වමත් වේග පන්දු යවන ක්‍රීඩක ක්වෙනා මෆාකා සහ තුන් ඉරියව් ක්‍රීඩක කෝබින් බොෂ් කඩුලු 3 බැගින් දවා ගත්හ. මෙම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට එරෙහිව දකුණු අප්‍රිකාව ලකුණු පරතරයෙන් ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙස ද වාර්තා වුණි. දෙපිල අතර තුන්වන සහ අවසන් තරගය මේ මස 16 වන සෙනසුරාදා කේන්ස් නුවරදී පැවැත්වීමට නියමිතය.

Comments