කොදෙව්වන්ට තියුණු ජයක්

 ලෝඩර්හිල් හි පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පාකිස්තානය පරාජය කරමින් තරගාවලිය 1–1ක් ලෙස සම කළේය. ලකුණු 134ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක කණ්ඩායම අවසන් පන්දුවේදී කඩුලු 2 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 133ක් රැස් කළේය. ආගා සල්මන් ලකුණු 38ක් සහ හසන් නවාස් ලකුණු 40කින් ලෙස දායකත්වය දැක්වූහ. ජේසන් හෝල්ඩර් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත් අතර අකීල් හොසේන් සහ ගුඩකේෂ් මෝටි කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු  ඉනිමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අසීරු ආරම්භයකට මුහුණ දුන් නමුත් තීරණාත්මක පසු පෙළ සබඳතාවක් ගොඩ නැගූ ගුඩකේෂ් මෝටී සහ ජේසන් හෝල්ඩර් ජයග්‍රහණයට කණ්ඩායම මෙහෙයවූහ. මෝටි ලකුණු 28ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 28ක් ‍රැස් කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කළහ. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවෙන් ලකුණු 3ක් අවශ්‍ය වූ අතර හෝල්ඩර් ජයග්‍රාහීව හතරේ පහරක් එල්ල කිරීමට සමත් විය. පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් හෝල්ඩර් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ඒ අනුව තරගාවලිය 1–1ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර අවසන් තරගය අගෝස්තු 3 වැනිදා පැවැත්වීමට නියමිතය. 

Comments