සුපිරි 4 වටයේ තවත් උණුසුම් ඉන්දු - පාකිස්තාන තරගයක්!
මීට පෙර ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 14 වැනි දා පැවැති තරගයේදී තරග තීරක ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු නායකයින් හට අතට අත දීම සිදු නොකරන ලෙස උපදෙස් දුන්නේ යැයි පාකිස්තානය චෝදනා කළේය. එහිදී ඔහු ක්‍රිකට් නීති උල්ලංඝනය කළ බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත පැමිණිලි කළ අතර, ඔහු තරගාවලියෙන් ඉවත් නොකළහොත් පාකිස්තානය තරගාවලියෙන් ඉවත් වන බවට ද අනතුරු ඇඟවීය. මෙම තත්ත්වය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි X පණිවුඩයක් මගින්ද නිවේදනය කළේය.
කෙසේ වෙතත්, ඇන්ඩි පයික්‍රොෆ්ට් ඊයේ තරගය සඳහා ද තරග තීරක ලෙස පත් කර තිබීම හේතුවෙන් මොහ්සින් නක්වි, හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරුන් වන රමීස් රාජා සහ නජම් සෙති සමඟ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කළ අතර ඒ හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම තරගය සඳහා ක්‍රීඩාංගණයට පැමිණීම ප්‍රමාද වූ බව වාර්තා විය. කෙසේ වෙතත් පසුව මොහ්සින් නක්වි විසින් කණ්ඩායමට ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන් බව සිය X ගිණුමෙහි පණිවුඩයක් මගින් තහවුරු කළේය.
මේ අතර, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද නිල ෆේස්බුක් පිටුවෙහි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇන්ඩි පයික්‍රොෆ්ට් පාකිස්තාන කණ්ඩායමේ කළමනාකරුගෙන් සහ නායකයාගෙන් සමාව ඉල්ලා සිටි බවයි. ඊට අමතරව, පයික්‍රොෆ්ට් සහ පාකිස්තාන කණ්ඩායමේ නායකයා, කළමණාකරු ඇතුළු තවත් පිරිසක් සාකච්ඡාවක නිරතවන වීඩියෝවක් ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල ෆේස්බුක් පිටුවෙහි පළ කරන ලදී. ඉන්දීය තරගයේදී සිදු වූ සිදුවීම සන්නිවේදනයේදී ඇතිවූ ගැටලුවක් හේතුවෙන් පැණ නැගුණු බව එහිදී පයික්‍රොෆ්ට් සඳහන් කළ බවත්, ICC විසින් ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් සිදු වූවාදැයි විමර්ශනය කිරීමට සූදානම් බව ප්‍රකාශ කළ බවත් පාකිස්තාන ක්‍රිකට් ෆේස්බුක් පිටුවෙහි සඳහන් විය.
මෙම සමාව ඉල්ලා සිටීම මත තත්ත්වය සමථයකට පත් වූ අතර, ඒ අනුව ඇන්ඩි පයික්‍රොෆ්ට්ගේ තරග තීරකත්වය යටතේම ඊයේ තරගය පැවැත්විණි. එහිදී පාකිස්තානයෙන් හිමි වූ ලකුණු 147ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 105කට සීමා කරමින් ලකුණු 41ක ජයක් වාර්තා කළ පාකිස්තානය සුපිරි 4 වටයේ ස්ථානය තහවුරු කර ගත්තේය. තරගයේ එක්සත් අරාබි එමීර් ඉනිම අතරතුරදී පාකිස්තාන කඩුලු රකින්නා ලෙස කටයුතු කළ මොහොමඩ් හැරිස් විසි කළ පන්දුව ශ්‍රී ලංකා විනිසුරු රුචිර පල්ලියගුරුගේගේ හිස පිටුපස වැදීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු විය. අනතුරුව අතිරේක විනිසුරු ගාසි සොහෙල් පිටියේ රාජකාරි සිදු කිරීමට පැමිණියේය.
සුපිරි 4 වටය
මෙවර ආසියානු කුසලානයේ සුපිරි 4 වටය knockout ක්‍රමයට නොව ලීග් ක්‍රමයට පැවැත්වීම හේතුවෙන්, සැප්තැම්බර් 21 වැනිදා තවත් ඉන්දු - පාකිස්තාන තරගයක් පැවැත්වීමට නියමිතයි. මේ වන විට කුඩාවට ඇවිළෙමින් පවතින ගැටුම් එදින තරගයේදී තවදුරටත් පුපුරා යාමේ අවධානමක් මතුව ඇත.

Post a Comment