ස්ටාක් හදිසියේ විස්සයි විස්ස පිටියට සමු දෙන්න තීරණය කරයි
මේ වන විට 35හැවිරිදි ස්ටාර්ක් 2024 ලෝක කුසලානයෙන් පසු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නොමැත. කෙසේ වෙතත්, ඔහු ටෙස්ට්, එක්දින සහ IPL වැනි ෆ්‍රැන්චයිස් විස්සයි විස්ස ලීග් තරග සඳහා දිගටම ක්‍රීඩා කිරීමට නියමිතය.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා විට ස්ටාර්ක්, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස කඩුලු ලාභියා ලෙස රැඳී සිටින අතර ඔහු තරග 79කදී කඩුලු 65ක් දවාගෙන ඇත.
"ටෙස්ට් ක්‍රිකට් හැමවිටම මගේ ප්‍රමුඛතම අරමුණයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග ක්‍රීඩා කළ සෑම මිනිත්තුවක්ම මම සතුටින් භුක්ති වින්දා. විශේෂයෙන්ම 2021 ලෝක කුසලාන ජයග්‍රහණයට සහභාගී වීම. එය අප ජයග්‍රහණය කළ නිසා පමණක් නොවෙයි. අපි කණ්ඩායමක් ලෙස එකට සිටි ආකාරය සහ ලැබූ විනෝදය නිසාද එය අමතක නොවන මතකයක්." යනුවෙන් ස්ටාර්ක් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"ඉදිරියේදී පැවැත්වෙන ඉන්දීය ටෙස්ට් තරග සංචාරය, අළුබඳුන තරගාවලිය සහ 2027 එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගෙන, හොඳම ශාරීරික යෝග්‍යතාව සහ දක්ෂතා පවත්වා ගැනීමට හොඳම ක්‍රමය මෙය බව මම විශ්වාස කරනවා." යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post a Comment