යෙවාන් යළි සටනට සූදානමින්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ නවමු බලාපොරොත්තුව වන යෙවාන් ඩේවිඩ්, යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ තීරණාත්මක දෙවන අදියර සඳහා සූදානමින් පසු වේ. ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසු තරගමාලාව ඔස්ට්‍රියාවේ රෙඩ් බුල් රින්ග් ධාවන පථයේදී මෙම සති අන්තයේ නැවත ආරම්භ කිරීමට නියමිතය.

යෙවාන් සිය ශූරතා බලාපොරොත්තු සමගින් මේ වන විට ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර, පෙරමුණේ සිටින Tymek Kucharczyk සහ යෙවාන් අතර ලකුණු පරතරය ලකුණු 17ක් පමණි. යෙවාන් ඇතුළු තරගකරුවන් සඳහා තවත් තරග 9ක් ඉතිරිව ඇති අතර එහිදී දැඩි තරගයක් අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම, යෙවාන් පසුගිය මසදී එංගලන්තයේ GB3 තරගාවලියට ද සහභාගී වෙමින් තම ධාවන හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කර ගෙන සිටීම ඔහුට මෙම තරගාවලියේ ඉදිරි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට විශාල පිටිවහලක් වනු ඇත.

Motopark කණ්ඩායම සමගින් තරග වදින යෙවාන් මෙවර තරගාවලිය තුළ දැනටමත් ප්‍රථම ස්ථාන 4ක් ඇතුළු ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගෙන ඇති අතර ඔහු ධාවන පථය තුළ දැක්වූ විශිෂ්ට ස්ථාවරත්වය සහ වේගය නිසා ශූරතාව දිනා ගැනීමට සඳහා වැඩි බලාපොරොත්තුවක් පවතී. 

No comments

Powered by Blogger.