රොස් ටේලර් සැමෝවා ජර්සියෙන් නැවත පිටියට
මේ බව සිය Instagram ගිණුම හරහා ප්‍රකාශ කරමින් ටේලර් කියා සිටියේ, "මෙම නිල් පැහැති කමිසය ඇඳගෙන සමෝවා කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මේක මම ආදරය කරන ක්‍රීඩාවට නැවත පැමිණීමකට වඩා වැඩි දෙයක්. මගේ උරුමය, සංස්කෘතිය, ගම සහ පවුල නියෝජනය කිරීම මට ලැබුණු විශාල ගෞරවයක්" ලෙසිනි. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, "ක්‍රීඩාවට යමක් ලබා දීමට සහ පිටිය ඇතුළත හා ඉන් පිටතදී මගේ අත්දැකීම් බෙදා ගැනීමට ලැබීම ගැන මම සතුටු වෙනවා." යනුවෙනි.
ටේලර්ට සිය මවගේ පාර්ශ්වයෙන් සමෝවා සම්භවයක් ඇති අතර, ඔහුට සමෝවා විදේශ ගමන් බලපත්‍රයක් ද තිබේ. 2022 අප්‍රේල් මාසයේ නවසීලන්තය වෙනුවෙන් අවසන් තරගය ක්‍රීඩා කිරීමෙන් පසු වසර තුනක කාලසීමාව ඉකුත් වීමෙන් අනතුරුව ඔහුට සමෝවා වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙලෙස අවස්ථාව හිමිව ඇත. 2006 සිට 2022 දක්වා නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 112ක්, එක්දින තරග 236ක් සහ T20 තරග 102ක් ක්‍රීඩා කළ ටේලර්, එම ආකෘති තුනෙන් පිළිවෙලින් ලකුණු 7683ක්, 8607ක් සහ 1909ක් රැස් කරගෙන ඇති අතර නවසීලන්තයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු ලෙස ඔහු සැලකේ. 2020 නොවැම්බර් මාසයේදී අවසන් වරට T20 තරගයක් ක්‍රීඩා කළද, ඔහු තවමත් නවසීලන්තය වෙනුවෙන් T20 තරගවල වැඩිම ලකුණු ලාභීන් අතර පස්වන ස්ථානයේ රැඳී සිටියි.

Post a Comment