දකුණු ආසියාව දිනූ කන්ද උඩරට සුරූපී ධාවිකාව - ශෆියා

සිව්වන වරට පැවැත්වුණ දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල ඊයේ (26) ඉන්දියාවේ රාංචිහිදී නිමා වන විට කෙටි දුර ධාවනයෙන් රන් පදක්කම් 3ක් දිනා ගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙසට කිරුළු පැළඳීමට ෆාතිමා ශෆියා යමික් සමත් විය.

යුද හමුදාව නියෝජනය කරන 26 හැවිරිදි ශෆියා එහිදී මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 සහාය දිවීම ඉසව්වලදී මෙම රන් පදක්කම් 3 දිනාගත් අතර එම සියලු ඉසව් නව තරගාවලි වාර්තා සමග නිම කිරීම විශේෂත්වයකි. ශෆියා මීටර් 100 ඉසව්ව තත්පර 11.53කින් නිම කළ අත‍ර මීටර් 200 ඉසව්ව තත්පර 23.58කින් නිම කළාය. එමෙන්ම මීටර් 100 සහාය දිවීම ඉසව්වේදී ශෆියා ඇතුළු අමාශාදි සිල්වා, ධනංජනා ප්‍රනාන්දු සහ රුමේෂිකා රත්නායක යන කණ්ඩායම තත්පර 44.70කින් තරගය නිමා කළහ.

මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලයෙන් ක්‍රීඩාව ආරම්භ කළ ශෆියා විවිධ බාධා මැද මෙම ජයග්‍රාහී ගමන පැමිණි ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි. පළමුව පාපන්දු, දැල්පන්දු මගින් ක්‍රීඩාව ඇරඹූ ඇය පියාගේ උනන්දු කිරීම මත මලල ක්‍රීඩාවට ප්‍රවේශ විය. එනමුත් මුස්ලිම් ජාතික තරුණියක් වීම හේතුවෙන් ඇති වූ බාධා පිළිබඳව ඇය YARL TV සමගින් අදහස් දක්වන්නේ මෙලෙසිනි. ''මට පල්ලියෙන් බාධා එල්ල වුණා. ගෙදරටම ඇවිත් තාත්තට කියනවා, මෙයා කොටට ඇඳලා දුවනවා TV එකේ පෙන්නද්දි අපේ සංස්කෘතියට බාධාවක් කියලා. හැබැයි තාත්තයි, අම්මයි කිව්වා එයාගෙ සිහිනයට අපි යන්න දෙනවා කියලා."


එමෙන්ම ආබාධ හේතුවෙන්ද යම් අවස්ථවල පසුබෑමට ලක්වූ නමුත් සිය උත්සාහයෙන් සහ පියාගේ දිරිගැන්වීමෙන් නැවත ඉදිරියට පැමිණි ශෆියා මෙම වසරේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වන්නේ විචාරකයන් අනාවැකි පළ කළ සියලු ක්‍රීඩිකාවන් අභිබවා යමිනි. සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ශෆියාගේ ද ඉලක්කය ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම ඔලිම්පික් සිහින සැබෑ කර ගැනීමය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 10ක් සමග පදක්කම් 40ක් සමගින් පදකක්ම් සටහනේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

No comments

Powered by Blogger.