21 හැවිරිදි උසෙයිත් ශ්‍රී ලංකාවට පළමු ජය හිමිකර දෙයි

ඩුබායි හිදී ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙන 2025 පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ජය වාර්තා කිරීමට කිලෝ ග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කරන යස්මින් මොහොමඩ් උසෙයිත් සමත් විය.

ඊයේ (4) ආරම්භ කෙරුණු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 8 දෙනකු සහභාගිවන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස සජීව දසනායක කටයුතු කරයි. සහය පුහුණුකරුවන් ලෙස දනුෂ් කුමාර, සමීර කරුණාරත්න සහ චමිත ගයාන් බණ්ඩාර කටයුතු කරති. මෙහිදී ඊයේ පළමුව කිලෝ ග්‍රෑම් 80 බර පන්තිය නියෝජනය කරන ගයාන් රත්නසිරි තරග කළ අතර ඔහු එහිදී ප්‍රංශ පොලිනීසියානු ක්‍රීඩක Tautuarii Nena හමුවේ 4-0ක් ලෙස පරාජය විය.

අනතුරුව කිලෝ ග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ 21 හැවිරිදි උසෙයිත් විසින් රුවන්ඩාවේ 34 හැවිරිදි අත්දැකීම් බහුල ක්‍රීඩක Innocent Mugenga 5-0ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී. ඉදිරි වටයේදී උසෙයිත් ශාන්ත ලුසියාවේ Kyle Marcel සමග තරග කිරීමට නියමිතය.

මේ අතර අද (5) රාත්‍රී කිලෝ ග්‍රෑම් 67 බර පන්තියෙන් කේ. පද්මසිරි සහ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියෙන් ඩැනියල් තිසරආරච්චි සිය පළමු වටයේ තරග සඳහා සහභාගිවීමට නියමිතය.

උමයංග මිහිරාන්, රවිඳු කුමාර, ආර්. ප්‍රසන්න, උදාර රූපස්සර යන ක්‍රීඩකයන් හෙට සිට ඉදිරි දිනවල තරග කිරීමට නියමිතය.

1 comment:

Powered by Blogger.