බොක්සිං ලෝක ශූරතාවේදී මෙරටින් සුවිශේෂී දස්කම්
මේ දිනවල ඩුබායි හි පැවැත්වෙන ලෝක ශූරතා පිරිමි බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ 8 ක්‍රීඩකයන් දෙනකුගේ කණ්ඩායම සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය. එහිදී ක්‍රීඩකයන් සිව්දෙනකු අවසන් 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ අතර මොහොමඩ් උසෙයිත් තරග 2කදී විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කළේය.
පළමුවෙන්ම අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට මොහොමඩ් උසයිත් සහ ඩැනිල් තිස්සආරච්චි සමත් වූ අතර අනතුරුව රවිඳු කුමාර සහ උදාර රූපස්සර ද සුදුසුකම් ලැබීය.
තරගාවලියේ පළමු දිනය වූ 4 වනදා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියෙන් තරග කළ ඩැනිල් ලකුණු 4-1ක් ලෙස කෙන්යාවේ Sylus Onyango පරාජය කළේය. එදිනම පැවැති කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේදී මොහොමඩ් උසෙයිත් රුවන්ඩාවේ Innocent Mugenga 5-0ක් ලෙස පරාජය කළ අතර අනතුරුව 6 වනදා සිය දෙවන තරගයේදී ශාන්ත ලුසියාවේ Kyle Marcel ද 5-0ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත් විය. එමෙන්ම කිලෝ ග්‍රෑම් 54 බර පන්තියේදී චීනයේ Weiqing Cheng 4-3ක් ලෙස පරාජයට පත් කිරීමට රවිඳු කුමාර ද සමත් විය.
![]() |
| රවිඳු සහ උසෙයිත් |
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රබල බලාපොරොත්තුවක් වූ පසිඳු උමයංග මිහිරාන් කිලෝ ග්‍රෑම් 51 බර පන්තියේ මූලික වටයේදී තියුණු තරගයකින් පසු අවාසනාවන්ත අයුරින් තායිලන්තයේ Phanuwat Punnakorn හමුවේ පරාජයට පත් විය. ඊට අමතරව මූලික වටයේදී කේ. පත්මසිරි (කිලෝ ග්‍රෑම් 67) රුසියාවේ Evgeny Kool හමුවේ සහ ගයාන් රත්නසිරි (කිලෝ ග්‍රෑම් 80) ප්‍රංශ පොලිනීසියාවේ Tautuarii Nena හමුවේ පරාජයට පත් වූහ.
අනතුරුව උදාර රූපස්සර කිලෝ ග්‍රෑම් 71 බර පන්තියේ මූලික වටයේදී ජර්මනියේ Maksym Bunakov ලකුණු 4-3කින් පරදා අවසන් 6 වටයට ඇතුළු වීමට 7 වනදා සමත් විය. එදිනම කිලෝ ග්‍රෑම් 57 බර පන්තියෙන් තරග කළ රුක්මාල් ප්‍රසන්න උස්බෙකිස්තානයේ Khujanazar Nortojiev හමුවේ 5-0ක් ලෙස පරාජය විය.
![]() |
| ඩැනිල් සහ උදාර |
අවසන් 16 වටය
අවසන් 16 වටය යටතේ පළමුව ඩැනිල් පෙරේදා (8) තරග කළේය. ඔහු එහිදී ලෝක ශූරතා රිදී පදක්කම් ලාභී ජෝර්ජියාවේ Shakhil Alakhverdovi සමග තරග කරමින් පළමු තරග වටය ජයගරහණය කළ නමුත් ඉතාමත් තියුණු තරගයකින් පසු 2-5ක් ලෙස පරාජය විය. එදිනම මාලි ක්‍රීඩක Djibril Traore සමග තරග කළ උසෙයිත්, විශිෂ්ඨ තරගයක් ලබා දෙමින් පළමු වට දෙකම ජය ගත්තේය. නමුත් අවසන් වටයේ දැඩි තරගයක් ලබා දෙමින් තරගය 3-4කින් ජය ගැනීමට Djibril සමත් විය.
අනතුරුව ඊයේ (9) සැම්බියාවේ Mwengo Mwale හමුවේ අවසන් වටය දක්වා තරගයක් දෙමින් රවිඳු 5-0ක් ලෙස පරාජයට පත් විය. පසුව පැවති තරගයේදී උදාර ස්පාඤ්ඤයේ Frank Martinez සමග තරග කළේය. තරගයේ තත්පර 42ක් ගත වද්දී Martinezගේ ඇස අසළ හානි වීම හේතුවෙන් තරගය අවසන් කෙරුණු අතර ඒ වන විට ලකුණු අනුව 1-4ක් ලෙස උදාරට අවාසනාවන්ත ලෙස පරාජය හිමි විය.
ඇමරිකාවෙන් පැමිණි තරිඳු
මේ අතර ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා පුහුණුකරු බන්දුල රත්නපාල යටතේ එරටදී පුහුණුව ලබන තරිදු රොෂාන් ද තරගාවලිය සඳහා කිලෝ ග්‍රෑම් 75 බර පන්තියෙන් neutral ක්‍රීඩකයකු ලෙස තරග කළේය. ඔහු මූලික වටයේදී neutral ක්‍රීඩකයකු ලෙස තරග කළ කොලොම්බියාවේ Juan Camilo Gonzalezර එරෙහිව සටන්කාමී තරගයක් ක්‍රීඩා කරමින් 5-0ක් ලෙස පරාජය විය.
රටවල් 120කට වැඩි ගණනකින් ක්‍රීඩකයන් 600ක් පමණ සහභාගි වූ තරගාවලියේ රන් පදක්කමක් සඳහා ඇ.ඩො. ලක්ෂ 3ක්,රිදී සහ ලෝකඩ පදක්කමක් සඳහා ඇ.ඩො. ලක්ෂ 1.5ක් සහ ඇ.ඩො. 75,000ක් ද සිව්වැනි හා පස්වැනි ස්ථාන සඳහා ඇ.ඩො. 10,000ක් ද පිරිනැමීම විශේෂත්වයකි. තරගාවලිය 13 වනදා අවසන් වේ.



Post a Comment